මිරිස් වර්ග, ගර්කින්  බෝතල් කරමුද?
මේ සඳහා ඕනෑම මිරිස් වර්ගයක් භාවිතා කළ හැක. මාලු මිරිස් වර්ග, අමුමිරිස් වර්ග, කොච්චි වර්ග, ගර්කින් වර්ග වැනි නොයෙකුත් එළවළු වර්ග මේ හරහා පරිරක්ෂණය කළ හැකිය.

කෘමි හා පලිබෝධ වලින් තොර ගුණාත්මයෙන් ඉහළ, නිසි ලෙස පරිණතවූ බෝගයක්  තෝරා ගන්න. ඉන් අනතුරුව  අවස්ථා තුනකින් පිරිසිදු කර ගැනීම සිදු කරන්න.

මෙලෙස පිරිසිදු කරගන්නා ලද බෝගය අනවශ්‍ය නටු සහිත කොටස් කපා ඉවත් කරගන්න. ඉන් අනතුරුව තියුණු උලක් සහිත සුදු යකඩ උපකරණයකින්, ගෑරුප්පුවකින් හෝ දෙහි කට්ටක් භාවිතා කරමින් මිරිස් කරල් හෝ ගර්කින් සිදුරු කර ගන්න. මෙලෙස පිළියෙල කරගනු ලබන බෝගය බර අනුව ලුණු ප්‍රතිශතය සියයට 3 ද්රාවණයක  පැය 04 -05 ගිල්වා තබන්න.

ලුණු ද්‍රාවණය  පිළියෙල කර ගැනීමේදී පිරිසිදු ලුණු පිරිසිදු  ජලයේ දිය කොට, මූඩිය වසන ලද භාජනයක, මද ගින්දරේ විනාඩි 10 පමණ කාලයක් නටවා, කාමර උෂ්ණත්වයට සිසිල් කොට භාවිතා කළ යුතුය. මෙහි අරමුණ වනුයේ ආස්‍රතිය හරහා යම්තාක් දුරකට නිෂ්පාදනයේ පවතින ජලය පිටතට ගැනීම සහ ලුණු ද්‍රාවණය නිෂ්පාදනය තුළට ගමන් කර වීම  තුළින් නිෂ්පාදනයේ රසය වැඩි කර ගැනීමයි.

නිශ්චිත කාලය අවසාන වනවාත් සමඟම, රස අනුව විනාකිරි ජලයේ දියකොට ද්‍රවනයක් පිළියෙල කොට එයට බර අනුව 0.5 – 3.0 අතර ලුණු එකතු කරනු ලබයි. මෙලෙස පිළියෙල කර ගන්නා ලද ද්‍රවනයක පෙරා, සංවෘත භාජනයක් තුළ විනාඩි  7-8 කාලයක් නැටවීම සිදු කරයි.

මෙම කාලය අතරතුර පිළියෙල කරගන්නා ලද, මිරිස් හෝ ගර්කින් පිරිසිදු කරගත් වීදුරු බෝතල් තුළ එකිනෙක තදින් හිරවන සේ හැසිරීම සිදු කරයි.ඉන් අනතුරුව  තාප පිරියම් කොට සකසා ගන්නා ලද ලුණු මිශ්‍ර විනාකිරි ද්‍රවණය බෝතල් තුළට වක් කරනු ලබයි. මෙහිදී උණුසුම් පිරවීමක් (Hot Filling) සිදුකරනු ලබන අතර පිරවීමේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 90 උෂ්ණත්වයක පවත්වා ගැනීමට වගබලා ගත යුතුය. 

උණුසුම් පිරවීමෙන් අනතුරුව, මෙලෙස පුරවා සකස් කරගන්නා ලද බෝතල් සෙල්සියස් අංශක 90 පවත්වාගෙනයනු ලබන උණුසුම් ජලය සහිත බාජනයකට මාරු කරනු ලබයි. මෙහිදී බෝතලයේ උසින් අඩක් ගිලි තිබිය යුතුය.

ඉන් අනතුරුව උෂ්ණත්වමානයක් ආධාරයෙන් බෝතලයේ අභ්‍යන්තර උෂ්ණත්වය මනිනු ලබයි. බෝතලේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 90 ට පැමිණි පසු තවත් විනාඩි 02 අතර කාලයක් එම ආකාරයෙන්ම තබන අතර, එමගින් බෝතලය තුළ රැඳී තිබිය හැකි වායු බුබුළු පිටතට පැමිණීමට සලස්වයි. ඉන් අනතුරුව  සියලුම බෝතල් පිටතට ගෙන අලුත් මෝඩි වලින් තදින් වැසීම සිදු කරනු ලබයි . මූඩි වැසූ වහාම, නැවතත් එම බෝතල් සෙල්සියස් අංශක 90 පවත්වාගෙන යනු ලබන උණුසුම් ජලය සහිත භාජනය සම්පූර්ණයෙන්ම ගිලී යන ආකාරයෙන් ඇසිරිය යුතුය. මෙම උෂ්ණත්වයේ තවත් විනාඩි 10 ත් 12 ත් අතර කාලයක් තබා පිටතට ගෙන සිසිල්  වීමට ඉඩහරී. දවස් 14ක බීජෞෂණ  කාලයකින් අනතුරුව නිෂ්පාදනය වෙළඳපොලට හඳුන්වා දියහැකිය.

මෙවන් නිෂ්පාදනයක් සාමාන්‍ය  තත්වයන්  යටතේ වසරක් වැනි කාලයක් තබාගත හැකිය.

නිෂ්පාදනය සඳහා නිරන්තරයෙන් අලුත් මූඩි භාවිතා කරන්න. කිසිවිටෙක  මූඩි උණු වතුර භාවිතයෙන් පිරිසිදු කිරීම සිදු නොකරන්න.

මෙහි දක්වා ඇති ක්‍රමවේදයන් නිවසේදී භාවිතා කළහැකි සරලතමආකාරයට දක්වා ඇති බව කරුණාවෙන් සලකන්න. නමුත් මෙම ක්‍රමවේදය අනුව නිෂ්පාදනය සිදු කරන්නේනම්, නිසැකවම ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. වාණිජ නිෂ්පාදනයකි සිදුකරනු ලබන සමහරක් පියවරයන් මෙහි ගොනුකර  නොමැති බව සලකන්න.

මෙම ක්‍රමවේදය අත්හදා බලන්න. ඔබට නැගෙන ගැටළු ප්‍රශ්න අප වෙත ඉදිරිපත් කරන්න. නිෂ්පාදනයෙහි විවිධ පියවරයන් නිරූපණය වන ආකාරයට ගන්නා ලද ඡායාරූප සමග ඉදිරිපත් කරන්න.හැකි පමණ මෙවැනි නිෂ්පාදන සිදු කොට ඇත ආහාර සංචිත කරගන්න. ඇති විය හැකි ආහාර අර්බුදයක් සඳහා මෙය කදිමවිසඳුමක් නොවන බව නොඅනුමානය.

(©️ Copyright Protected SL FOOD tech)