කොස් පරිරක්ෂණය කිරීම සඳහා මෙම ක්‍රමය භාවිතා කර බලමු. ගොඩක් ප්‍රදේශ වල කොස් ඵලදාවත් ඉතාමත් ඉහළයි.

හොඳින් පැසුණු කොස් ගෙඩි තෝරාගන්න. ඉන්පසු මෙම කොස් ගෙඩි පියවර තුනකින් පිරිසිදු කර ගන්න. පියවර තුනකින් පිරිසිදු කර ගැනීම ඉතාමත්ම වැදගත්. මෙමගින් මෙම නිෂ්පාදනය කල්තබා ගත හැකි කාලය තීරණය කරනු ලබයි. පළමුව ජලය පුරවන ලද බේසමක කොස් ගෙඩි ගිල්වා විනාඩි පහක් හතක් අතර කාලයක් තබන්න. ඉන්පසු බුරුසුවක් හෝ පොල් කොහු කැබැල්ලක් මගින් හොඳින් කොස් ගෙඩියේ පොත්ත අතුල්ලන්න. ඉන්පසු මෙලෙස පිරිසිදු කරගන්නා ලද කොස් ගෙඩි පිරිසුදු ජලය පුරවන ලද තවත් බේසමක ගිල්වන්න. ඔබ සතුව ක්ලෝරීන් ද්රාවණය පවතී නම් මෙම දෙවැනි සේදුම සඳහා එය එක්කර ගත හැකිය. ක්ලෝරීන් මගින් ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන අතර එමගින් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවයි. මේ සඳහා යෝග්‍ය වූ ක්ලෝරීන් ද්‍රාවණය සාදා ගන්නා ආකාරය වෙනම ලිපියකින් දැනුවත් කරනු ඇත. මෙලෙස ක්ලෝරීන් ද්‍රවනයෙන් පිරිසිදු කරගන්නා ලද කොස් ගෙඩි තවත් පිරිසිදු ජලය සහිත භාජනයක ගිල්වා පිරිසිදු කර ගැනීම සිදු කරයි.

මෙලෙස පිරිසිදු කර ගන්නා ලද කොස් ගෙඩි පිරිසිදු මතුපිටක් මත තබා කොටස් වලට කපා මදුලු වෙන් කර ගැනීම සිදු කරගත යුතුය. කොහොල්ලෑ අයින් කිරීම සඳහාපොල් තෙල් භාවිතා කරන්නේ නම් ඒ සඳහා අවම ප්‍රමාණයක් භාවිතා කිරීමට වග බලා ගත යුතුය.

මෙලෙස වෙන්කරගත් මදුලු අවශ්‍ය ප්‍රමාණයට සහ අවශ්‍ය හැඩයට කපා ගැනීම සිදුකර ගත යුතුය. මෙහි දී එක් කොටසක ඝනකම මිලි මීටර 5 – 8 අතර ඝනකම සහිත විය යුතු අතර, මෙම පරාසය නොඉක්මවීමට වග බලා ගත යුතුය.

මෙලෙස අවශ්‍ය ප්‍රමාණයට කපන ලද කොස් කැබලි සෙල්සියස් අංශක 82 – 85 අතරවූ උණුසුම් ජලය සහිත භාජනයක විනාඩි 3-5 අතර කාලයක් ගිල්වාතබා, ක්ෂණිකව සාමාන්‍ය ජලය සහිත භාජනයක ගිල්විය යුතුය. සාමාන්‍ය ජලය තුල විනාඩි 5 පමණ කාලයක් තබන්න. මෙම ක්‍රියාවලිය සිදු කිරීම මගින් කොස්වල පැහැය ආරක්ෂාවීම, විජලනයේදී ජලය ඉවත් වීමට පහසු කරවීම, ක්ෂුද්‍ර ජීවීන්ගේ ගහණ ඝනත්වය අඩුකරවීම, එන්සයිම විනාශ කිරීම, පිෂ්ට කණිකා සජලනය කිරීම එමගින් කල්පවත්වා ගැනීමේ ගුණය ඉහළ නැංවීම සිදු කරයි.සාමාන්‍ය ජලය වෙනුවට ශීත ජලය භාවිතා කළ හැකි නම් නිෂ්පාදනය ගුණාත්මක භාවය තවත් ඉහළ යයි.

මේලෙස පිළියල කරගත් කොස් කැබලි විජලනය කිරීම සඳහා භාජනය කළ යුතු ය.

සූර්ය විජලන ක්‍රමය මෙහිදී විස්තර කරනු ලබයි.

මේ සඳහා සුදුසු මතුපිටක් තෝරා ගත යුතු ය. ආහාර නිෂ්පාදනයේ නිර්දේශිත පෘෂ්ඨයන්වනුයේ සුදු යකඩ පෘෂ්ඨයන්ය. නිර්දේශිත සුදු යකඩ ශ්‍රේණි දෙකකි. එනම් SS 304 සහ SS 316. ඔබ සතුව මෙම පෘෂ්ඨයන් නොමැතිනම් මේ සඳහා සුදුසු පෘෂ්ඨයක් ආදේශ කරගත හැකිය. උදාහරණ වශයෙන් පැදුරු, බට වලින් වියන ලද භාජන හෝ වෙනත් පෘෂ්ඨයන්. (මෙම ද්‍රව්‍යයන් නිර්දේශ නොකරන බව කරුණාවෙන් සලකන්න).

ඉන් පසු තනි ස්ථරයක් ලෙස පිළියෙල කරගන්නා ලද කොස් කැබලි ඇතිරීම සිදු කරගත යුතු ය. මෙලෙස අතුරන ලද කොස් කැබලි හිරු රශ්මිය තදින් ඇති ස්ථානයක තබා දිනකට පැය 8 වැනි කාලයක්, දින 4-5 වියළීම සිදු කරගත යුතුය. වියළීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී දිනයේ වැඩි වේලාවක් අව්ව ඇති ස්ථානයක් තෝරා ගන්න. සූර්යයා ගමන් කරන දිශාව හා සමපාත වන ආකාරයට විජලන ඇටවුම ස්ථානගත කරන්න. එමෙන්ම කෘමි පළිබෝධ පලිබෝධ සහ ආගන්තුක ද්‍රව්‍ය එක් වීම වැළැක්වීම සඳහා ඇටවුම මත අඩි 2 ක් ඉහලින් කුඩා සිදුරු සහිත දැලක් භාවිතා කළ හැකිය.

අවසන් නිෂ්පාදනය ජල ප්‍රතිශතය 12% හෝ ඊට පහළ අගයක් වියයුතු අතර නිවසේදී ජල ප්‍රතිශතය තීරණය කරගත නොහැකි නිසා, විජලනය කරන ලද කොස් කැබැල්ලක් අතට ගෙන නවන විට පහසුවෙන් හඬනඟා දෙකට කැඩෙන අවස්ථාව දක්වා විජලනය කරන්න.

මෙලෙස විජලනය කර ගන්නා ලද කෝස්, වියළි සිසිල් ස්ථානයක තබා කාමර උෂ්ණත්වයට පත්වීමට ඉඩහරින්න. ඉන් අනතුරුව වාතය ජලය ඇතුල් විය නොහැකි ඇසුරුමක අසුරන්න. හිරු එළිය නොවැටෙන ස්ථානයක ගබඩා කර තැබීම මගින්, මෙලෙස සිදු කරනු ලබන නිෂ්පාදනයක් මාස 06ක් වැනි කාලයක් ගබඩාකර තබා ගත හැකිය.

විජලනය කරන ලද කොස් වලින් ආහාර පිළියෙළ කිරීමට ප්‍රථතමව, සාමාන්‍ය ජලයේ පැයක පමණ කාලයක් ගිල්වාතැබීමෙන් සාමාන්‍ය නැවුම් කොස් බවට පත්කර හැකිය.

ඔබත් අත්හදා බලන්න. ඔබට නැගෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. නිෂ්පාදනයේ විවිධ අවස්ථා පෙන්වීම සඳහා ඡායාරූප රැගෙන කමෙන්ට් කරන්න.

(copyright protected by SL FOOD tech.)